Monday, January 2, 2017

Written on

බොදුබල සේනා මගේ පරාජයට හවුල් - මහින්ද

තම පාලනය බිඳහෙළීමට බොදු බල සේනා සංවිධානය සහ අමාත්‍ය චමිපික රණවක එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කටයුතු කළ බව හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ පවසයි.

මුස්ලිම් ජනතාවට පහරදී සැළසුම් සහගත ලෙස තමන්ගෙන් ඔවුන් ඈත් කල බව හිටපු ජනාධිපතිවරයා බොදු බල සේනා සංවිධානයට චෝදනා කරමින් වැඩිදුරටත් පැවසුවේය.

තමන් නැවත බලයට පත්වූවිට බොදු බල සේනා වැනි සංවිධාන පාලනය කළ යුතු ආකරය තමන් දන්නා බවද ඔහු පැවසීය.

ඊයේ (29) විදේශ වාර්තාකරුවන්ගේ සංගමය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව පැවසුවේ ජාතිවාදය ඇතිකරන බොදු බල සේනා වැනි සංවිධාන ගැන ඉන්දීය මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි.


'චම්පික විරුද්ධ වුණා'
බලයේ සිටියදී ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකළේ ඇයිදැයි විමසු විට හිටපු ජනාධිපතිවරයා පැවසුවේ එවකට කැබිනට් මණ්ඩලයේ චම්පික රණවක අමාත්‍යවරයා ඊට විරුද්ධ වෙමින් ප්‍රශ්න ඇති කළ බවය.

නීතිය ක්‍රියාත්මක නොවීම තම අඩුපාඩුවක් බවද හිටපු ජනාධිපතිවරයා මෙහිදී පිළිගත්තේය.
අමාත්‍ය චම්පික රණවකට අමතරව අමාත්‍ය රාජිත සේනාරත්නද බොදු බල සේනා සංවිධානයට සහය දුන් බවට හිටපු ජනාධිපතිවරයා චෝදනා කළේය.

දැන් බොදු බල සේනාව ආණ්ඩුව සමග හිතවත්ව කටයුතු කරන බව පැවසූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෑතකදී එම සංවිධානය වත්මන් ජනාධිපතිවරයා හමුවී ඔහුට ප්‍රශංසා කර තිබෙන බවද කියා සිටියේය.

'වෙඩි තැබීමක් ගැන ඇසුවේ පළමු වතාවට'
2020 වසරේ රටේ ජනාධිපති වන්නේ චම්පික රණවක බවට බොදු බල සේනා සංවිධානයේ ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවමංගල උත්සවයකදී පවසා තිබෙන බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

කෙසේ වෙතත් බොදු බල සේනා සංවිධානය තම නිර්මාණයක් බවට නගන චෝදනා චම්පික රණවක අමාත්‍යවරයා මීට පෙර ප්‍රතික්ෂේප කළේ බිබිසියට අදහස් දක්වමිනි.

2014 වසරේ අළුත්ගම සිදුවූ කෝලාහලයේදී වෙඩි තැබීමකින් පුද්ගල මරණයක් සිදුවූ බවට තහවුරුවී තිබුනත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඒ ගැන යොමුවූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පැවසුවේ අලුත්ගම සිදුවීමේ වෙඩිතැබීමක් සිදුවූ බවට පළමු වතාවට තමන්ට අසන්නට ලැබුණේ අද බවය.

More News