Sunday, March 19, 2017

Written on

මුහුණු පොතේ විවේචන ගැන අනෝමාගේ කෙලින් කතාව

 

සිනමාවේ කතාබහට ලක්වුණ ප්‍රවීණ නිළියක් වුණත් මෑතකදී අපිට ඔබේ නිර්මාණ දකින්න ලැබුණේ නැහැ?
හරවත් ටෙලිනාට්‍ය සහ චිත්‍රපට නිළියක් විදියට මම ආවට ගියාට දේවල් කරන්නෙ නැහැ. ඒත් පසුගිය දිනවල ඩැනියෙල් පතිරණ, ධම්මික තිසේරා කියන අධ්‍යක්ෂවරුන්ගේ ටෙලි නාට්‍යවල රඟපෑවා. ජනවාර්ගික අර්බුද ගැන කළ කෙටි චිත්‍රපටයකට දායකත්වය දුන්නා.
මීට අමතරව චිත්‍රපට දෙකකට රංගනයෙන් දායක වුණා. 'දැවෙන විහඟුන්' නමින් එක චිත්‍රපටයක් මේ දිනවල අන්තර්ජාතික සිනමා සම්මාන උළෙල නියෝජනය කරනවා. තාම ලංකාවේ ප්‍රේක්ෂකයන්ට නම් මේ චිත්‍රපටය දකින්න ලැබුණෙ නැහැ. තවත් අලුත් තිර පිටපතක් කියවමින් ඉන්න අතරතුර මගේ ජීවිත කතාවේ හතරවැනි කොටස 'පුනරාවර්ජන' නමින් වෙළෙඳපොළට නිකුත් කළා.
සිනමාව තුළ අභියෝගාත්මක චරිතවලින් රසිකයන් අතරට ගිය ඔබ වර්තමානයේ බිහිවන නිර්මාණ ගැන සෑහීමකට පත් වෙනවද?
අලුත් නිර්මාණ බිහිවෙන්නේ පරිකල්පන ශක්තිය දියුණු තිර රචකයන් හා අධ්‍යක්ෂවරුන් හිටියොත් විතරයි. ඒ වගේ බුද්ධිමතුන් අද කිසිම ක්ෂේත්‍රයක නැහැ. එදා දේශපාලනයේ ලලිත් ඇතුලත්මුදලි වගේ උදාර චරිත හිටියත් අද ඒ වගේ අය නැහැ. හොරු රැළක් විතරයි ඉන්නේ. සිනමාවේ ලෙස්ටර් ගත්තත්, ටෙලි නාට්‍යයේ ධම්ම ජාගොඩ, සෝමවීර සේනානායක ගත්තත් උදාර චරිත. ඒත් දැන් මොකද වෙන්නේ. දඩයම චිත්‍රපටය ටෙලි නාට්‍යයට නඟනවා. ගිනි අවි සහ ගිනිකෙළි චිත්‍රපටය ටෙලි නාට්‍යයක් විදියට නිර්මාණය කරනවා. පරිකල්පන භංගත්වය තමයි මේ දේවල්වලින් පේන්නේ. මේ නිසා දැන් බිහිවෙන නිර්මාණ ගැන සෑහීමකට පත් වෙන්න බැහැ.
ඔබ 'සංජීව නූගත් තිරිසනෙක්, හඳගම උගත් ගෝත්‍රිකයෙක්' කියලා සමාජ ජාලයක කළ ප්‍රකාශය ගැන ගොඩක් දෙනා මේ දිනවල කතා වෙනවා. ඔබ මේ වගේ කතාවක් කියන්නේ ඇයි?
මේ කතාවට හේතු වුණේ පසුගිය දවසක රීගල් සිනමා ශාලාවේදී එක්තරා චිත්‍රපටයක මංගල දර්ශනය අවස්ථාවේ වුණ සිදුවීමක්. මම එතැනට ගිය වෙලාවේ මම රංගනයෙන් දායකත්වය දුන් චිත්‍රපටවල අධ්‍යක්ෂවරු දෙන්නෙක්ව මට මුණ ගැහුණා. මේ දෙන්නගේම චිත්‍රපටවලට මම වෙන නිළියක් කරන්නේ නැති විශේෂ කැප කිරීමක් කළා. ඒ වගේම අපි අතර ප්‍රශ්න ඇති වුණත් ඒවා මතවාදී මිසක් පුද්ගලවාදී නෙවෙයි. ඒත් ඒ දෙන්නා මාව මඟහැරියා. ඒකට හේතු වුණේ මගේ පෞරුෂය ඉහිලීමට තරම් හැකියාවක් ඒ අයට නැති වීම.
ඔබ සමාජයේ ප්‍රසිද්ධ චරිතවලට ටඡ හරහා මඩ ගහන්නේ ඇයි?
'තනි තටුවෙන් පියාඹන්න' සහ 'දැවෙන විහඟුන්' චිත්‍රපටවල රචකයන් වගේම අධ්‍යක්ෂවරුන් දන්නවා මම ඒ නිර්මාණවලට නිරුවතින් කළ රංගන දායකත්වය ඒ අයට වෙනත් නිළියකගෙන් ඉටු කරගන්න බැරි බව.
මේ අය නිර්මාණ වලින් පෙන්නුම් කරන ගැහැනිය පරපීඩිත කාමයෙන් විඳින දුක්ගැහැට කියන පරමාදර්ශී තේමා පාඨ සීමා වෙන්නේ නිර්මාණයට විතරයි. ඉතින් මේ අයගේ ආකල්ප වල ප්‍රතිවිරෝධයම තමුන්ටම මඩ ගසා ගැනීමක්. අමුතුවෙන් ඔවුන්ට මම හෝ වෙනත් කෙනෙක් මඩ ගහන්න අවශ්‍ය නැහැ.
ඔබ මේ තරම් චෝදනා කරන්නේ ඔබට නිර්මාණයේදී නිසි වටිනාකම නොලැබුණ නිසාද?
විකල්ප ධාරාවේ සිනමා අධ්‍යක්ෂවරු මුල සිටම කරලා තියෙන්නේ මේ පොළොවේ ගැහැනිය සිනමාවේදී විකුණාගෙන කාපු එකයි. ගැහැනිය වෙනුවෙන් පෙනී සිටිනවා කියලා ඇඟවීමත් මේ අයගේ කපටි බිස්නස් එකක්. ඔබ ඔය තරම් අහන නිසා මම කියන්නම් මේ දෙන්නාටම මම විවෘතව අභියෝග කරනවා රූපවාහිනි විවාදයකට එන්න කියලා සිනමාවේ ප්‍රතිනිර්මාණ කළ ගැහැනිය සම්බන්ධව කතා කරන්න.
කොන්දේසි විරහිතව නිරුවත් කළා කිව්වට එය ඔබේ අකැමැත්තෙන් කළ දෙයක් නෙවෙයි නේද?
තනි කැමැත්තෙන් වගේම බලහත්කාරයෙන් තමයි ඒක කරන්නේ. ඔබට ඒක ඔප්පු කරන්න ඕන නම් එන්න ඔබ දර්ශන තලයට. අධ්‍යක්ෂවරු නිළියන්ට කරන අඩන්තේට්ටම් දැක බලා ගන්න. එක අවස්ථාවක මේ මගේ සඳයි චිත්‍රපටයේ දර්ශන තලයේදී රූගත කිරීම් සූදානම් කරලා එක වරම මගේ ළැම කැමරාවට පෙනෙන විදියට මා ඇඳ හිටිය ඇඳුම කැමරාවට සමීප කළා. අවාසනාවට ඔහු මගේ සැමියා. මාත් එක්ක මේ රංගනයට සෞම්‍ය ලියනගේත් හිටියා.
නිර්මාණ වෙනුවෙන් නිරුවත් වීම ගැන ඔබ අද පසුතැවෙනවාද?
නැහැ. පසුතැවෙන්න මම නිර්මාණවල රඟපාන්නේ නැහැ. හොඳට හිතලා බලලයි රඟපාන්නේ. මට තියෙන ප්‍රශ්නේ නළු නිළියන්ගේ වෘත්තීය අයිතිවාසිකම් අධ්‍යක්ෂවරුන්, නිෂ්පාදකවරුන් සුරක්ෂිත නොකරන එකයි.
අනෝමා ජිනාදරී මොවුන්ට චෝදනා කරන්න සමාජ මාධ්‍ය යොදා ගන්නේ ඇයි?
මගේ හිතට එන පිරිසුදු අදහස් නිර්භයව කියන්න පුළුවන් ශක්තිය මට තිබුණා. එදා ඒකට මාධ්‍යයෙන් ඉඩක් තිබුණේ නැහැ.නමුත් අද මට ඒ අවස්ථාව තියෙනවා. මට ඒ ඉඩ හදලා දුන්නේ මාර්ක් සකර්බර්ග්. මම උපයාගත් ප්‍රසිද්ධිය, කීර්තිය මෙහේ ඉන්න බෙලහීනයන් උදුරා ගන්නකොට මම ලබන කීර්තිය රැක ගන්න ෆේස්බුක් මාධ්‍ය ජාලය හරහා ඉඩ ලැබෙනවා. ෆේස්බුක් එක මාව අපහරණයට ලක් කරන්නෙත් නැහැ. මගේ දක්ෂතා සූරා කන්නෙත් නැහැ. ඒත් හඳගමත් සංජීවත් මගේ ශ්‍රමය හා නිරුවත සූරා කනවා. මේ මොහොතෙදිත් ඒ අය ප්‍රසිද්ධියේ මුදල් උපයමින් මාව දකින කොට මඟහරිනවා.මම ආපහු මේ දෙන්නට කියනවා මා සමඟ ප්‍රසිද්ධ සංවාදෙකට එන්න කියලා.
අනෝමා ජිනාදරීට පිළිගැනීමක් වටිනාකමක් නොලැබුණේ මේ අයගෙන් විතරද?
ඔව්. මේ අයගේ අනුගාමිකයනුත් මාව යට කරන්න හදන්නේ. ඒත් අනෙක් අය ඒක පිළිගන්නේ නැහැ. මම දක්ෂ නම් ඔවුන් මාව ඔවුන්ගේ නිර්මාණවලට ගනියි.

More News