Wednesday, May 27, 2020

Written on

නව අධ්‍යක්ෂකගේ ආගමනයත් සමඟ CID ජ්‍යේෂ්ඨයින් රැසක් ස්ථාන මාරුවීම් ඉල්ලයි!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිනව අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න අල්විස් මහතා පසුගිය ඉරිදා දිනයේදී රාජකාරි භාරගැනීමත් සමඟම එම දෙපාර්තමේන්තුවේ සේවයෙහි නියුතු ජ්‍යේෂ්ඨ නිලධාරීන් රැසක් ස්ථාන මාරුවීම් ලබා ගැනීම සඳහා ඉල්ලීම් කර තිබේ.

මෙසේ ස්ථාන මාරුවීම් ඉල්ලා ඇත්තේ SSP දර්ශිකා කුමාරි, SSP අම්පාවිල, SSP ඉමේෂා මුතුමාල, SP වික්‍රමසේකර සහ SP ජයතිලක යන මහත්ම මහත්මීන් ඇතුළු තවත් කිහිපදෙනෙකි.

ඔවුන් පවසන්නේ ප්‍රසන්න අල්විස් මහතා ඔවුන්ට වඩා සේවයෙන් කනිෂ්ඨ පුද්ගලයකු බැවින් සහ ඔවුන් විසින් පවරන ලද නඩුවක වග උත්තරකරුවකු බැවින් ඔහු යටතේ CIDයෙහි සේවය කිරීම තමන්ට ගැටළු සහගත බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක් වැරදි ලෙස අර්ථ නිරූපණය කරමින් ජාතික පොලිස් කොමිසම ද නොමඟ යවා ජ්‍යේෂ්ඨත්වය සම්බන්ධයෙන් පසුදාතම් යොදා උසස්වීම් ලබාගත් බවට ඉහත කී නිලධාරීන් විසින් ප්‍රසන්න අල්විස් මහතාට සහ තවත් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ. එම අනෙකුත් නිලධාරීන් දෙදෙනා වන්නේ SSP මනෝජ් රණගල සහ SSP අනුරුද්ධ බණ්ඩාරනායක ය. පොලිස්පතිවරයා සහ ජාතික පොලිස් කොමිසම ද එම නඩුවේ වග උත්තරකරුවන් වෙයි.

එසේ තිබියදීත් ප්‍රසන්න අල්විස් මහතාව CID අධ්‍යක්ෂ තනතුරට පත්කිරීම තුළ තමන්ට තවදුරටත් එහි වැඩකිරීමට නොහැකි බවයි එම ජ්‍යේෂ්ඨයින් පෙන්වා දී ඇත්තේ.
මෙසේ ස්ථානමාරුවීම් ඉල්ලා ඇති නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහි විමර්ශන විශාල සංඛ්‍යාවක් සිදුකරන අය බැවින් මෙම තත්වය එම දෙපාර්තමේන්තුවෙහි වැඩකටයුතු කෙරෙහි ඉතා තදින් බලපානු නියතය. විශ්‍රාමික ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුම සිටින ජාතික පොලිස් කොමිසම මීට වඩා වගකීමකින් කටයුතු කළේ නම් මෙවැනි සිදුවීම් සිදු නොවන්නට ඉඩ තිබුණි.

More News