Thursday, October 11, 2018

Written on

ශ්‍රී ලංකාවේ උපන් සිංහ පැටියෙකුට කිරි දී සරණ වූ සුනඛ මව

සිංහයෙකු නිවෙසක ඇති දැඩි කිරීම අපට සාමාන්‍යයෙන් ඇසෙන පුවතක් නොවේ. කෙසේ නමුත්, 2014 වසරේදී නිවසක සති 3ක පමණ කාලයක් ඇති දැඩි වූ සිංහ පැටවෙකු පිළිබඳ පුවතක් මොරටුවෙන් වාර්තා විය.

2014 වසරේදී මෙම සිදුවීම ගැන මාධ්‍යයෙන් යම් හෙළිදරව්වක් සිදුකළත්, මේ පිළිබඳ තොරතුරු රහසක්ව තබා ගැනීමට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව මෙන් ම, සිංහයා බලා කියා ගත් මොරටුව පදිංචි හේෂාන් මෙන්ඩිස් කටයුතු කර තිබිණි. සත්වයාට නිදහසේ හැදී වැඩීමට අවකාශය ලබාදීම ඔවුන්ගේ බලාපොරොත්තුව විය.

පසුගිය සතියේ සතුන් වෙනුවෙන් පැවැත්වූ වැඩසටහනකට එක් වෙමින් හේෂාන් මෙන්ඩිස් ප්‍රථම වරට සිය නිවසේ ඇති කළ සිංහ පැටවා ගැන තොරතුරු හෙළි කළේ ය. සුනඛ මවක් සහ සිංහ පැටියෙකු අතර ඇති වූ එම අපූරු ගනුදෙනුව ගැන වැඩිදුර කරුණු දැන ගැනීමට බීබීසී සිංහල සේවය හේෂාන් මෙන්ඩිස්ව සම්බන්ධ කර ගත්තේ ය.

"දෙහිවල සත්තු වත්තේ සිංහ අම්ම කෙනෙකුට පැටව් හතර දෙනෙකු හම්බ වුණා. නමුත් ප්‍රශ්නය වුණේ, සිංහ අම්මා පැටවුන්ට කිරි දෙන එක ප්‍රතික්ෂේප කිරීම යි. ඒ නිසා පැටව් තුන් දෙනෙක් ටික වෙලාවක් ඇතුළත මැරුණා."

"එක පැටියෙක් විතරක් බේරගන්න පුළුවන් වුණා. එයාට මැරෙන්න නොදී බේරා ගන්න ඕනෙ නිසා විකල්පයක් ලෙස කිරි දෙන්න පුළුවන් බල්ලෙක් හෙව්වා. එතකොට මගේ බල්ලා "ෂෙලී" පැටව් දාලා දවස් 6 යි. කොහොම හරි ඒගොල්ලෝ මාව සම්බන්ධ කර ගත්තා" යැයි හේෂාන් පැවසීය.

සිංහයෙකු නිවසක තබා ගැනීම නීතියෙන් තහනම් වූ ක්‍රියාවක් හේතුවෙන් මෙම ඉල්ලීමට මුලින් කැමැත්තක් නොදැක්වූවත්, එවැනි ගැටලුවක් ඇති නොවන බවට සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ බලධාරීන් තහවුරු කළ පසු සිංහ පැටවා සිය භාරයට ගත් බව හේෂාන් පැවසුවේය.

"එදා රෑ 7ට විතර සිංහ පැටියව අපේ ගෙදරට ගෙනාවා. එතකොටත් එයා ගොඩක් දුර්වල තත්ත්වයක හිටියේ. අනික සිංහ පැටියාට පොඩි කාලයේ තිබුණේ පූසෙකුගේ පෙනුමක්. ඒක නිසා, මගේ බල්ලා ෂෙලී මේ පැටියට අනතුරක් කරයි කියලා බය හිතුණා"

More News